ශ්‍රී ලංකාව තුළ වාහන ලියාපදිංචි කිරීම හා රියදුරු බලපත් නිකුත් කිරීම අරමුණු කර ගනිමින් 1916 අංක 14 දරන පනත ගෙන එන අතර, එමඟින් පොලිස්පතිවරයා යටතේ එම කටයුතු ආරම්භකර තිබේ. පසුකාලීනව 1925 මේ සම්බන්ධයෙන් පිහිටුවනු ලබන විශේෂ කමිටුවක නිර්දේශ අනුව 1927 අංක 20 දරන මෝටර් කාර් ආඥා පනත නීතිගත කිරීමෙහිලා තවත් වැදගත් සන්ධිස්ථානයකි. මේ යටතේ මෝටර් රථ හා රියදුරන් ලියාපදිංචි කිරීම හා වාර්ෂික ආදායම් බලපත් නිකුත් කිරීමට පෙර කුලී කාර් සහ ලොරි පරීක්‍ෂා කිරීම අරමුණු කර ගත් අතර, 1927 ගෙන එනු ලබන මෙම පනත යටතේ 1928 ජනවාරි 01 දින මෝටර් රථ රෙජිස්ට්‍රාර්වරයකු යටතේ මෝටර් රථ රෙජිස්ට්‍රාර් කාර්යාලය ආරම්භ කරන ලදී.

මෙම ගමන් මගෙහි තවත් සුවිශේෂිම සන්ධිස්ථානයක් වන්නේ වර්ෂ 1951 අංක 14 දරන මෝටර් වාහන පනත මගින් දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපනය කිරීමයි. ශ්‍රී ලංකාව තුළ මෝටර් වාහන ලියාපදිංචිය, නියාමනය, රියදුරු බලපත් නිකුත් කිරීම, මාර්ග ආරක්ෂාව හා පරිසර හිතකාමී වාහන භාවිතය යන අරමුණු පෙරදැරිව කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම අද වන විට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු අතර වේ.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වාහන භාවිතයේ සීඝ්‍ර වැඩිවීමත් සමගම පුළුල් වී ඇති දෙපාර්තමේන්තු කාර්යන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉටු කිරීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින්, වේරහැර කාර්යාලය හා සෑම දිස්ත්‍රික් කාර්යාලයක් හරහාම දෙපාර්තමේන්තුමය සේවාවන් සැලසීම සිදු කරනු ලබයි. මේ අනුව වර්තමානය වන විට දිස්ත්‍රික් කාර්යාල කිහිපයක් මාර්ගගත (online) සම්බන්ධතාව මත ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව සමත් වී ඇත.

සියලුම දිස්ත්‍රික් කාර්යාල මාර්ගගත (online) සම්බන්ධතාව මගින් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සමඟ සම්බන්ධවීමෙන්, ග්‍රාමීය / ප්‍රාදේශීය මට්ටමේ සේවාලාභීන්ගේ අපේක්ෂාවන් / අවශ්‍යතා කඩිනමින් ඉටුකිරීමත්, නවීන පහසුකම් සහ නව තාක්ෂණය තුළින් සේවාලාභි අපේක්ෂාවන් වඩා පහසු කරලීමත් දෙපාර්තමේන්තුවේ ඉදිරි අභිලාෂයන් අතර ප්‍රධාන වේ.